11TH ANNIVERSARY

ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව 11 වන සංවත්සරය මහත්අභිමාණයෙන් සමරයි.


වර්ෂ 2010 මාර්තු මස 04 වන දින එවකට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිත්වය දැරූ අතිගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ සංකල්පයකට අනුව ගාලු වරාය පරිශ්‍රයේදී උත්සවශ්‍රියෙන් සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලද, 2009 අංක 41 දරණ වෙරළ ආරක්‍ෂක පනත මගින් ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එකලොස් වන සංවත්සරය 2021 මාර්තු 04 වන දිනට යෙදී තිබේ.

දේශීය මෙන්ම කලාපීය සාගර අවකාශය තුලින් පැන නගින ඕනෑම තර්ජනයක් සඳහා මුහුණු දිය හැකි ශක්තිමත් වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවක් බිහි කිරීමෙන් ආරක්‍ෂාව මෙන්ම ශ්‍රී ලංකාවට අයත් වෙරළ තීරයේ හා ගැඹුරු මුහුදේදී සමුද්‍රීය නීතිය ක්‍රියාත්මක කිරීම හා සාමය සුරක්‍ෂිත කිරීම යන අරමුණු ලගා කර ගැනීම දැක්ම කරගත් ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව අනාගතයට ගැලපෙන ලෙසින් කාලානුරූපීව වෙනස් වෙමින් මේ දක්වා පැමිණ ඇත.

දෙපාර්තමේන්තුවේ හයවන අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස රියර් අද්මිරාල් අනුර ඒකනායක ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වර්තමානයේ අධ්‍යක්‍ෂ ජනරාල් තනතුර හොබවන අතර ද්විතික පදනම මත ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් තාවකාලිකව අනුයුක්ත කරන සෙසු දෙපාර්තමේන්තු ප්‍රධානීන්, මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් මෙන්ම වෙරළ ආරක්‍ෂක පුද්ගලයින් එතුමාගේ සෘජු නායකත්වය හා අධීක්‍ෂණය යටතේ සමුද්‍රීය නීතිය ක්‍රියාත්මක කිරීම හා බලපැවැත්වීම උදෙසා ශ්‍රී ලංකාව වටා වෙරළ තීරය ආවරණය වන පරිදි වෙරළ ආරක්‍ෂක ස්ථානගතකිරීම්, වෙරළ ආරක්‍ෂක උප ස්ථානගතකිරීම් හා දිවයින වටා පිහිටා ඇති ප්‍රධාන ධීවර වරායන් 24 ක් සඳහා අනුයුක්තව සිය රාජකාරීන් සිදුකරනු ලබයි. තවද, දිවයින වටා ස්ථාපනය කොට ඇති ජිවිතාරක්‍ෂක මුරකුටි 18 ක් සඳහාද වෙරළ ආරක්‍ෂක ජිවිතාරක්‍ෂක පුද්ගලයින් වර්තමානය වන විට අනුයුක්ත කර ඇත.

ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව නාවික කටයුතු පිළිබඳ ප්‍රධාන සංධිස්ථානයක් ලෙස සඳහන්ව ඇති බව දැනට පවතින සාක්ෂි මගින් මනාව තහවුරු වන අතර, ඉන්දියන් සාගරය හරහා ගමන්කරන බොහොමයක් නැව් මාර්ග ශ්‍රී ලංකාව ආසන්නයේ පිහිටීමත්, ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මධ්‍යගතව භූගෝලිය පිහිටීමත් මෙයට ප්‍රධාන හේතුවක් වේ. ඒ අනුව කළපු, බොකු හා ඩෙල්ටා ආදී වූ විවිධ භූ විශමතාවයකින් යුත් වෙරළ තීරයකින් සමන්විත‍ ස්භාවික දූපත් සමූහයකින් හා ස්භාවික කොරල්පර කලාප කිහිපයකින්ද සැදුම්ලත් ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර සමුද්‍රීය ප්‍රවාහනයේ ඉතා වැදගත් ස්ථානයක් හිමිකර ගනී.

මෙසේ වර්ග කිලෝමීටර 65610 ක භූමි ප්‍රමාණයකින් යුතු ශ්‍රී ලංකාව එම භූමි ප්‍රමාණය මෙන් අට ගුණයකට වඩා විශාල මුහුදු ප්‍රදේශයකට හිමිකම් කියන අතර එහි පවතින ඉහල වටිනාකමකින් යුත් සාගර සම්පත් සහ සමුද්‍රීය ක්‍රියාකාරකම් මනාලෙස කළමණාකරනය කොට නීතිය ක්‍රියාත්මක කිරිම වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු පනත මගින් ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට බලය පවරා දී ඇත.

සමුද්‍රීය කොල්ලකෑම්, නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්, නීති විරෝධී අවිධිමත් සහ වාර්තා නොවූ මත්ස්‍ය ඇල්ලීම් කටයුතු, නීති විරෝධී භාණ්ඩ ජාවාරම් මැඩපැවැත්වීම හා මහ සයුරේ සිදුවන මිනිස් ජීවිත සහ දේපල වලට වන හානිය අවම කිරීම, සුරක්ෂිත භාවය තහවුරු කිරීම, නෞකා ආපදා වලදී අවශ්‍ය සහය ලබාදීම, සමුද්‍ර දූෂනය වැලැක්වීම හා ප්‍රතිචාර දැක්වීම, වෙරළ තීරය සහ සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීම,ස්වාභාවික උපද්‍රව වලදී මහජනයාට සහයවීම යන කාර්යභාරයන් ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමෙන්තුව සතු වගකීම් අතර ප්‍රධාන තැනක් උසුලයි.

මෙයට අමතරව අවස්ථානුරූපීව දේශීය ආයතන හා සම්බන්ධීකරණය වීම තුලින් ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ හා ඒ අවට මුහුදු ප්‍රදේශයන්වල සිදුවන සිදුවීම් කළමණාකරනය කිරීමද ‍මෙම දෙපාර්තමේන්තුව සතු වගකීම් අතරට ගොණු කරනු ලබයි.

ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුව සන්නද්ධ හමුදා සේවාවක් ලෙස වර්ගීකරණය නොකරන අතර සමුද්‍ර නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වර්තමානය වන විට රට තුල පිහිටුවා ඇති ප්‍රධාන ආයතනයකි. ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු පනතේ 06 වන වගන්තියට අනුව 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ අර්ථානුකූලව සහ එහි කාර්ය සඳහා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත වී සිටින සෑම වෙරළ ආරක්ෂක පුද්ගලයෙකුම සාම නිලධාරියකු ලෙස හදුන්වනු ලැබේ. එසේ හදුන්වනු ලබන සෑම නිලධාරියෙකුම ඔහුට අයත් කාර්ය්‍යභාරය ශ්‍රී ලංකාවට අයත් , සාගර කලාපයන්හි මෙන්ම ජාත්‍යන්තර සාගර කලාපයන්හි ජාත්‍යන්තර සම්මේලන වලදි සම්මත කරගන්නාවූ සාගරය පිළිබඳ අන්තර් ජාතික සම්මුති, ක්‍රමවේදයන්ට අනුව ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම සිදුකරනු ලබයි‍.

ලංකාවට අයත් සාගර කලාපයන් හා සාගර ප්‍රදේශයන්හි ආරක්ෂාව සිදුකිරීමෙහිලා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සතුව පවතින නෞකා සහ යාත්‍රා වලට විශාල කාර්යභාරයක් පැවරී ඇත. වේග මුර යාත්‍රා කිහිපයකින් ආරම්භ වූ ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේනතුවේ නෞකා සහ යාත්‍රා බලඇණිය වර්තමානය වන විට ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවකින්, වේග මුර නෞකා දෙකකින්, වේග මුර යාත්‍රා 10 කින්, වෙරළබඩ මුර යාත්‍රා හා වරාය ආරක්ෂක යාත්‍රා කිහිපයකින් ශක්තිමත් වී ඇත.

2017 වර්ෂයේ ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් ලෙස ඉන්දියාවේ නිශ්පාදිත ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක සුරක්ෂා නෞකාව අධිකාරියට පත්කොට ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නෞකා සමූහයට එක්වූ අතර 2018 වර්ෂයේ ජපානයේ නිශ්පාදිත වේග මුර නෞකා 02 ක් ලෙස ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක සමුද්‍රරක්ෂා සහ සමාරක්ෂා යන නෞකාවන් අධිකාරියට පත්කරන ලදි .ඊට අමතරව ඕස්ට්‍රේලියානු රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු කුඩා ප්‍රමාණයේ යාත්‍රා 03 ක්ද ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමෙන්තුවේ නැව් සමූහයට අළුතින් එකතු වන ලදි.

මෙසේ එකතු වන ලද සහ දෙපාර්තමේන්තුව සතුව පැවැති යාත්‍රා දිවයින වටා පිහිටි සම්පූර්ණ වෙරළ තීරය ආවරණය වන පරිදි ස්ථානගත කොට ඇති අතර උතුරු මුහුදු ප්‍රදේශයේ ඉන්දීය ධීවර යාත්‍රා මගින් සිදුකරණු ලබන නීති විරෝධී මසුන් මැරීම සහ නීති විරෝධී ජාවාරම් වැලැක්වීම වෙත වැඩි අවදානයක් යොමුකිරීමෙහිලා බහුලව අධිවේගී මුර යාත්‍රා යොදවා නිරික්‍ෂණයන් සිදුකරනු ලබයි.

එමෙන්ම සමුද්‍ර සෙවුම් හා මුදවාගැනීම් මෙහෙයුම් සිදු කිරීම ශ්‍රි ලංකාවේ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇති ප්‍රධාන කාර්යභාරයක් ලෙස පවතී. ජාත්‍යන්තර නෞකා ගමන් මාර්ගයන් ශ්‍රි ලංකාවට ආසන්න මුහුදු කලාපය තුල යෙදී ඇති නිසා විශාල නෞකා ප්‍රමාණයක් ශ්‍රී ලංකාව අවට මුහුදේ ගමනගමනයේ සිදුකරනු ලබයි. තවද 50000 කට අධික විශාල සහ කුඩා ධීවර යාත්‍රා මෙන්ම විදේශීය යොට් සහ සංචාරක යාත්‍රාද ශ්‍රී ලංකාව අවට මුහුදේ යාත්‍රා කරනු ලබන හෙයින් එම සියළුම නෞකා සහ යාත්‍රාවන් අනතුරට පත්වීමකදී පළමු ආරක්‍ෂකයා ලෙස වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මූලිකත්වය ගෙන උපකාර කිරීම සිදුකරනු ලබයි.

එමෙන්ම ශ්‍රී ලංකාව එකඟවී ඇති ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව සෙවුම් හා මුදවාගැනීම් සමුද්‍ර කලාපය තුල සිදුවන ඕනෑම අනතුරකදී හෝ හදිසි තත්වයකදී ක්‍රියාත්මක වී කටයුතු කිරීමට ශ්‍රීලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව බැඳී සිටී. තවද, දේශීය ධීවර යාත්‍රා සහ අනෙකුත් සංචාරක යාත්‍රා වරායන් වලින් පිටත් වීමට පෙර එම යාත්‍රා වල ජීවිතාරක්ෂාව සඳහා යොදාගනු ලබන ක්‍රමවේද සහ උපකරණ ආදිය නිසිලෙස පවත්වාගෙන යන්නේදැයි සොයා බලා පරික්ෂාවට ලක්කිරීම සහ පවත්නා නිතීන් හා රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීමද සිදුකරනු ලැබේ.

ශ්‍රි ලංකාවේ මුහුදු සීමාවේ හෝ වෙරළ ආශ්‍රිත ප්‍රදේශයන්හි බොරතෙල් විසිරීමක් සිදුවන අවස්ථාවන් වල දී ජාතික තෙල් කාන්දුවීම් පිළිබද හදිසි සැලසුම් ක්‍රියාත්මක කිරීමේ බලය හා වගකීම වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇති අතර, එසේම එයට මුහුණ දීම සඳහා මනා පුහුණුවකින් යුත් නිලධාරීන් කණ්ඩායම් සහ ඊට අවශ්‍ය කරන උපකරණ දිවයින පුරා ඇති ප්‍රධාන වරායන් ආශ්‍රිතව ස්ථාපිත කර ඇත. මෑත කාලයේ සිදුවූ එවැනි සිදුවීම් රැසක් සාර්ථකව කළමණාකරනය කිරීමට වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට හැකිවී ඇති අතර, උදාහරණයක් වශයෙන් නිව් ඩයමන්ඩ් නැමැති අති විශාල බොර තෙල් ප්‍රවාහන නෞකාව ශ්‍රී ලංකාවට නිරිතදිග මුහුදේදී ඇතිවූ අනතුරේදී සිදු වු තෙල් විසුරුම් පාලනය කිරීම ලබාදුන් දායකත්වය ඉමහත්ය.


එමෙන්ම සමුද්‍රීය පරිසරය සුරක්ෂිත කිරීමේ අරමුණ පෙරදැරිව හරිත වන තීරය නම් ව්‍යාපෘතියක් හා පුනරුදය නම් රුක් රෝපන ව්‍යාපෘතියක් මෙන්ම රට අභ්‍යන්තරයේ පිහිටා ඇති කළපු ආශ්‍රිතව කඩොලාන සිටුවීමේ ව්‍යාපෘතින් හා ස්වාභාවික කොරල් පර ආශ්‍රිත ප්‍රදේශ අධීක්ෂණය කිරීම ආදී කටයුතු වල වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් අනුඛණ්ඩ මගින් සිදුකරනු ලැබේ. එසේම වඳවීමේ තර්ජනයට මුහුණපා ඇති මත්සයින් පිළිබඳව, තහනම් ධීවර පන්න ක්‍රම පිළිබඳ විමසිලිමත් වීම සහ කැස්බෑ බිත්තර සංරක්ෂණය කිරීම, පැටවුන් බිහිවූ පසු මුහුදට නිරුපද්‍රිතව මුදා හැරීම වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලබන සමාජ සත්කාරක සේවාවන් ලෙස හදුන්වාදිය හැක. තවද, මුහුදු ක්ෂිරපායි සතුන්ගේ සහ එම සතුන් නැරඹීමට ගමන් කරන විදේශිය සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්ථමේන්තුව සමග එක්ව ඒකාබද්ද වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන ආයතනයක් ලෙස මුහුදේදී තල්මසුන් නැරඹීමේ යාත්‍රා නිරීක්ෂණය සහ නියාමනය කිරීමද වගකිව යුතු දෙපාර්තමේන්තුවක් ලෙස සිදු කරනු ලබයි.

මෙලෙස කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමෙන්තුව විසින් සමුද්‍රීය නීතිය ක්‍රියාත්මක කිරීමෙහිලා කලාපීය රටවල් සමග මෙන්ම අන්තර්ජාතික සංවිධාන සහ ආයතන සමග මනා සම්බන්ධතාවයකින් යුතුව කටයුතු කරනු ලබයි.

ඒ අනුව ආසියානු මුහුදු තීරයේදී මුහුණපාන නාවික අභියෝග වලට මුහුණදීම සඳහා කලාපීය සමුද්‍ර ආරක්ෂණ ආයතන අතර 2000 වර්ෂයේදී ජපානයේ මූලිකත්වයෙන් සම්මේලනයක් පැවැත්වූ අතර එය ආසියානු වෙරළ ආරක්ෂක ප්‍රධානීන්ගේ සම්මේලනය (HACGAM) ලෙස හඳුන්වනු ලබන අතර වාර්ෂිකව පවත්වනු ලබන මෙම සමුළුවේ ශ්‍රී ලංකාව කැපී පෙනෙන දායකත්වයක් ලබාදීම හේතුවෙන් එහි 15 වන සැසි වාරය 2019 ඔක්තෝබර් මස 07 වන දින සිට 10 දක්වා කොළඹ ගොල්ෆේස් හෝටලයේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදි. එසේම ඒ සඳහා රටවල් 23ක් නියෝජනය කරමින් වෙරළ ආරක්ෂක බලකා ප්‍රධානීන් මෙන්ම අන්තර්ජාතික සංවිධාන නියෝජිතයින් සහභාගි වන ලදි.


ජපානය ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අභිවෘද්ධිය උදෙසා විශාල සහයොගයක් ලබාදෙනු ලබන රටක් වන අතර ඒ අනුව ජපන් වෙරළ ආරක්ෂක බලකාය විසින් තෙල් විසිරීම පාලනය කිරීමේ පුහුණුවත්, ඒ සඳහා අවශ්‍ය උපකරණ ලබාදීමත් නිරතුරුවම සිදුකරනු ලබයි. එමෙන්ම ඇමරිකා එක්සත්ජනපද වෙරළ ආරක්ෂක බලකාය විසින් සමුද්‍රීය නිතිය බලාත්මක කිරීම පිළිබඳ හා සමුද්‍රීය යාත්‍රා පරික්ෂා කිරීම ආදී විශේෂ පුහුණු අභ්‍යාස සහ ඒ සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම සිදුකිරීම මගින් වෙරළ ආරක්ෂක පුද්ගලයින්ගේ දැනුම හා පුහුණුව වර්ධනය කිරීමෙහිලා ප්‍රධාන කාර්යභාරයක් සිදුකරනු ලබයි.

තවද ඕස්ට්‍රේලියානු වෙරළ ආරක්ෂක බලකාය විසින් ජීවිතාරක්ෂක පුහුණුව සහ වෙරළ ආරක්ෂක පුද්ගලයින් පහුණුව සඳහා අදාල උපකරණ ලබාදීම මෙන්ම ඉන්දියාව, පකිස්තානය, මාලදිවයින, දකුණු කොරියාව අදි රටවල් සමග සමීප සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් පුහුණුවීම් සහ ඒකාබද්ධ අභ්‍යාස පැවැත්වීම තුලින්ද දෙපාර්තමේන්තු පුද්ගලයින්ගේ වෘත්තීය දැනුම හා පලපුරුද්ද වැඩි කිරීමට ඉවහල් වී ඇත.


දේශීයව පවත්වනු ලබන පුහුණු පාඨමාලාවන් වෙරළ ආරක්ෂක උසස් පුහුණූ මධ්‍යස්ථානයට අනුබද්ධිතව ක්‍රියාත්මක කරනු ලබන අතර එහිදී වෙරළ ආරක්ෂක රාජකාරි හඳුන්වාදීමේ පාඨමාලාව, ආර්එෆ්ඩී යාත්‍රා හැසිරවීම සහ ජලතරන පාඨමාලාව, තෙල් කාන්දුවීම් පිළිබඳ සූදානම්වීමේ හා ප්‍රථිචාර මාර්ග පිළිබඳ පාඨමාලාව, සමුද්‍රීය නිතිය බලාත්මක කිරීම පිළිබඳ හා සමුද්‍රීය යාත්‍රා පරික්ෂා කිරීමේ නිලධාරී පාඨමාලාව, සොදිසි කිරීම් හා මුදවා ගැනීම් පිළිබඳ පාඨමාලාව ආදී දේශීය පාඨමාලාවන් රාශියක්ද ජාත්‍යන්තර සමුද්‍රීය නිලධාරී පාඨමාලාව, සමුද්‍රීය කටයුතු පිළිබඳ විද්‍යාපති උපාධිය ආදී විදේශ පාඨමාලාවන් රැසක් සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ලබයි.

දේශිය සහ විදේශය සංචාරකයින්ගේ ජීවිතාරක්ෂාව සැලසීම උදෙසා බලපිටිය ප්‍රදේශයේ පිහිටුවා ඇති වෙරළ ආරක්ෂක ජීවිතාරක්ෂක පුහුණු පාසල මගින් ජාත්‍යන්තර මට්ටමේ ජීවිතාරක්ෂාව පිළිබඳ පුහුණු පාඨමාලාවන් පවත්වාගෙන යනු ලබන අතර මෙම පාඨමාලාවන් වෙරළ ආරක්ෂක පුද්ගලයින්ට පමණක් සීමා නොවි අනෙකුත් ආරක්ෂක අංශ සාමාජියින්, විශ්ව විද්‍යාල සිසුන්, පාසල් සිසුන් සහ සිවිල් පුද්ගලයින් සඳහාද හැදෑරීමට අවස්ථාව ලබාදී ඇත.

ගංවතුර, නාය යෑම්, සුළි සුළං, මුහුදු ගොඩගැලීම් වැනි ස්වභාවික ආපදා වලදී මහජනයාගේ සුරක්ෂීතතාව වෙනුවෙන් කටයුතු කිරීම ආදී වැදගත් සමාජීය මෙහෙවරයන් ශ්‍රි ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලබන අතර ආපදා කළමණාකරණය පිළිබද මහජනතාව සහ පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහන්ද ඒ සමගාමීව සමාජ වගකීමක් ලෙස ක්‍රියාත්මක කිරීම සිදුකරනු ලබයි.


ශ්‍රී ලංකාව වටා පිහිටා ඇති දර්ශණිය මුහුදු තීරය සම්පත් වලින් අනූනව පවතින හෙයින් එය මගින් නාවික කේන්ද්‍රගත සංවර්ධන ඉලක්ක කරා යාමට ජාතික වැඩපිළිවෙලක් සැකසීමේ කාර්ය භාරයටද ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව කැපවී සිටි. එම කාර්ය භාරය ශක්තිමත් කර ගැනීම උදෙසා ඉදිරි වසර 10 ක කාලය තුල ශ්‍රීලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සතු නෞකා බලඇණියට අළුතින් එකතුකර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින නෞකා රාශියක ප්‍රමාණයක් පවතී.

සමුද්‍රයේ තිරසර සංවර්ධනටය, ජාතික සමුද්‍රීය නීති බල ගැන්වීම සහ මතු පරපුර උදෙසා සමුද්‍ර පරිසරය රැක ගැනීම දෙපාර්තමේන්තුව සතු මහා කාර්ය සමුදායන් වලින් ප්‍රමුඛ කාර්යක් වන අතර, මතු පරපුර වෙනුවෙන් එම කාර්යය ක්‍රියාවට නැංවීම ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඒකායන අරමුණයි.